රෝසි සේනානායකගේ ආන්දෝලනාත්මක පාපොච්චාරණය..

පුතෙක් ඉන්න එක අම්මා කෙනෙක්ට ලොකු හයියක්.

•අපේ පරම්පරාව අධ්‍යාපනයට විශාල සේවාවක් කළා.

•කණිෂ්ක සානුකම්පිත හදවතක් තියෙන, සංවේදී දරුවෙක්.

•මගේ දේශපාලන ගමන ආවෙ මම ස්ව ශක්තියෙන්.

•මම ලබපු විශිෂ්ටතම පදවිය තමයි මවු පදවිය.

•2010 – 2015 වකවානුවේදී පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා දායකත්වය.

•කොළඹ නගර සභාව කියන්නෙ පුංචි රාජ්‍යයක්.

•කොළඹ 60%ක් ජීවත් වෙන්නෙ අඩු ආදායම් ලාභී පවුල්.

•අනුන්ගේ දේවල් කඩා වඩාගන්න මානසිකත්වයක අපි නොසිටිය යුතුයි.

•විවාහක ලෝක රූ රැජින වෙලා ලෝකයක්ම කතාකරපු ඔබ දේශපාලනයට එනවා
* මගේ පළවෙනි මැතිවරණය පළාත් සභා මැතිවරණය. ජනතා විමුක්ති පෙරමුණට සහාය දීපු කාන්තාවොත් මට එදා ඡන්දෙ දුන්නා. දිනාගත් තනතුරු හේතු කරගෙනත් නෙවෙයි එදා ඉඳන්ම මං ඒ තනතුරු භාවිතා කරලා බොහෝ වෙලාවට සමාජයට යමක් දෙන්න කටයුතු කළා. 1980 මම ලක් රූ රැජිණ දින්නා. 1981 ආසියානු රූ රැජිණ දින්නා. 1984දි මම ලෝක විවාහක රූ රැජිණ දින්නා. එතනින් පස්සේ මම ගොඩක් සමාජ සේවයට නැඹුරු වුණා. 2005දි මං පටන් ගත්තා මාධ්‍ය වැඩසටහනක්. කාන්තාවන්ට නීතිමය පැත්තෙන් තියෙන අයිතිවාසිකම්, සමාජයීය ප්‍රශ්නවලට මුහුණදෙද්දි ඒ ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය සම්පත්දායී පුද්ගලයන් මං ඒ වැඩසටහනට ගෙනාවා. ඒ වැඩසටහන තුළින් මං හිතන්නේ කාන්තාවන්ට මං ගැන විශාල පැහැදීමක් ඇති වුණා. ජනප්‍රිය පුද්ගලයෙක් දේශපාලනයට එනකොට පක්ෂ, පාට භේද මේ රටේ පවතින නිසා දේශපාලන වාතාවරණය තුළ තිබූ ජනප්‍රියත්වයේ අඩුවක් අපි දකිනවා.

•දේශපාලන පසුබිම
* මගේ ස්වාමිපුරුෂයාගේ ආච්චියි සීයයි මේ රටට කාන්තා හා පිරිමි පාසල් 16ක් බිහිකරපු පුද්ගලයෝ. අධ්‍යාපනයට විශාල සේවාවක් කරපු පරම්පරාවකින් තමයි අපි පැවතෙන්නේ. ඒ වගේම දේශපාලන පසුබිමකුත් තිබ්බා. පී.ඩී.එස්. කුලරත්න (මගේ ස්වාමිපුරුෂයාගේ සීයා) ආනන්ද විද්‍යාලයේ විදුහල්පති හැටියට එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ඉගෙනගෙන අවුරුදු 24ක් වැනි ලාබාල වයසකදී විදුහල්පති ධුරයට පත්වෙලා කොලඹ ආනන්ද විද්‍යාලය අද තිබෙන තත්ත්වයට පත් කරන්න ගොඩක් කැපකිරීම් කළ පුද්ගලයෙක්. එතුමා ආනන්ද විද්‍යාලය ආරම්භ කරද්දි ශිෂ්‍යයන් 400යි හිටියේ. එතුමා විදුහල්පති හැටියට පාලනය කරගන්න බැරි තරම් ශිෂ්‍ය ඉල්ලුමක් හේතු කරගෙන අන්තිමට නාලන්ද විද්‍යාලය බිහිකළේ පී.ඩී.එස්. කුලරත්න. එතකොට හිල්ඩා කුලරත්න (ආච්චි) කාන්තාවන් සඳහා ආනන්ද බාලිකා විද්‍යාලය බිහි කළා. මේ වගේ පානදුර මහ විද්‍යාලය, හොරණ ශ්‍රී පාලි, ධර්මාශෝක, මලියදේව බාලිකා වැනි මහනුවර, කොළඹ, කුරුණෑගල, අම්බලන්ගොඩ වගේ ප්‍රදේශ ගණනාවක පාසල් බිහිකරපු පරම්පරාවක්. පසුකාලීනව පී.ඩී.එස්. කුලරත්න ජාතික දේශපාලනයට ඇතුල් වුණා. මායා සේනානායක (ස්වාමිපුරුෂයාගේ මව) ඇය පොලිස්පතිගේ භාර්‍යාව හැටියට පොලිස් නිළ ඇඳුම මහන්න පොලීසියේ වැඩකරන ස්වාමිපුරුෂයන්ගේ බිරින්ඳෑවරුන් හා දියණියන් එකතු කරගෙන ඒ කරපු ව්‍යාපෘතිය හරහා ඒඋ බිරින්ඳෑවරුන්ට්ටට ආදායම් මාර්ගයක්, රැකියා උත්පාදනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළා. මේක අනුගමනය කරලා තමයි ජේ.ආර්. ජයවර්ධන ආර්‍යාව සේවා වනිතා ඒකකය බිහිකළේ. ඒ වගේම තමයි ස්ටැන්ලි සේනානායක (ස්වාමිපුරුෂයාගේ පියා) හිටපු පොලිස්පති. එතුමා තමයි 1975 Anti Narcotics Bureau එක බිහි කළේ. පොලිස්පති හැටියට එතුමා විශාල කර්තව්‍යයක් කළා. මෙරිල් ද සිල්වා (මගේ බාප්පා) තමයි මගේ ලොකු නැන්දව විවාහ කරගෙන හිටියේ. එහෙම තිබ්බත් මම දේශපාලනයට එනකොට පවුල් පසුබිමක් තිබුණේ නෑ. මම විශේෂයෙන්ම දේශපාලනයට ආවේ සමාජ සේවයට ඉතාම ලැදිව කරයුතු කරලා. ඉස්සෙල්ලාම පළාත් සභාවට තරඟ වැදිලා ඊටපස්සෙ ජාතික මැතිවරණයකට ගිහිල්ලා මේක මගේ ස්ව ශක්තියෙන් මිසක් පවුල් පසුබිමකින් ආපු හේතුවක් නිසාම නෙවෙයි.

•පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා දායකත්වය
* 2010 – 2015 වකවානුවේදී නොකඩවා පාර්ලිමේන්තු ගිය, ජනතාව වෙනුවෙන් හඬක් නඟපු පුද්ගලයන් දෙන්නයි හිටියේ. වැරිටේ සමීක්ෂණ ආයතනය විසින් කළ සමීක්ෂණයකින් ඒ බව පෙන්නුම් කළා. මමයි, ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයයි තමයි ඒ පුද්ගලයො දෙන්නා. නමුත් අපි දෙන්නම 2015 ජනතාව ගෙදර ඇරලා අනික් සියලු දෙනාවම නැවත තෝරා පත්කර ගත්තා. හැමදාම ජනතාව වෙනුවෙන් හඬක් නඟලා, ප්‍රශ්න අහලා යම් කිසි සේවාවක් කරපු පුද්ගලයින් දෙන්නවම 2015දී ජනතාව ගෙදර ඇරියා.

•කොළඹ නගරාධිපතිනිය වීම
* කොළඹ නගර සභාව කියන්නේ මං දකින හැටියට පුංචි රාජ්‍යයක්. බිලියන 16ක ආදායමක් තිබෙන, ලක්ෂ 07ක අධික ජනගහනයකින් යුක්ත, දිනපතාම මිලියනයකට වඩා සංක්‍රමණය වන නගරයක් තමයි කොළඹ කියන්නේ. තව අවුරුදු දෙක තුනකින් වරාය නගරය සුහුර තාක්ෂණයෙන් දියුණු, දකුණු ආසියාවේ හොඳම වාණිජ අගනුවර හැටියට කොළඹ නගරය ඒකට සමාන්තරව කටයුතු කළ හැකි නගරයක් බවට පත් විය යුතුයි. එවැනි පරිසරයක මගේ වගකීම අතිශයින්ම වැදගත්. මගේ රාජකාරිය ගොඩක් බැරෑරුම් රාජකාරියක්. කොළඹ නගරය කොච්චර සංකීර්ණයිද කියල කිව්වොත් 60%ක් විතර ජීවත්වෙන්නේ අඩු ආදායම් ලාභී පවුල්. කොළඹ නගරය බහු ජාතික, බහු ආගමික නගරයක්. මේ වගේ විවිධත්වයෙන් යුක්ත ජන කොට්ඨාසයක් ජීවත් වන නගරයක් හැටියට පුංචි රාජ්‍යයක් හසුරවනවා වගේ බැරෑරුම් තත්ත්වයක් තමයි මම කොළඹ නගරය තුළ දකින්නේ.

•පුතෙක් ලැබුණු විට දැණුනු සතුට
* මට ඉන්නෙ එක පුතයි. මගේ කුළුඳුල් දරුවා තමයි කණිෂ්ක කියන්නේ. මම ඇත්තටම ලැබෙන්න ඉන්නෙ දුවෙක්ද පුතෙක්ද කියලවත් බලන්න කැමති වුණේ නෑ මගේ පළවෙනි දරුවා නිසා. කණිෂ්ක තමයි කුලරත්න පරම්පරාවේ, අපේ සේනානායක පවුලේ පළවෙනි වැඩිමහල් මුණුපුරා. පවුලේ පළවෙනි දරුවා හැටියට ඒක මට විශාල සතුටක්. මම හිතන විදියට මම ලබපු විශිෂ්ටතම පදවිය තමයි මවු පදවිය කියන්නේ. එංගලන්තයේ වොරික් විශ්වවිද්‍යාලයෙන් මගේ පුතා නීතිය හදාරලා ඇමරිකාවේ ටැම්පා විශ්වවිද්‍යාලයෙන් financial banking degree එක හැදෑරුවා. අද වෙද්දි අපේ දරුවෝ අපිට උගන්වන්න පුළුවන් මට්ටමටම ඇවිත් තිබෙනවා. දේශපාලනයේදී වුණත් අපේ අත්දැකීම් බහුල වුණාට අපෙන් අතපසු වෙන දේවල් බොහෝ වෙලාවට කරන්නේ අපේ දරුවෝ. පුතෙක් ඉන්න එක අම්මා කෙනෙක්ට ලොකු ශක්තියක්. මගේ දුවලා දෙන්නත් මට විහිලු කරනවා අම්මා ඉතින් වැඩියෙන් ආදරේ අයියට විතරයිනෙ කියල. එතන පොඩි ඉරිසියාවකුත් තියෙනවා. පුතෙක් ලබපු එක මං ලබපු ලොකු භාග්‍යයක් වගේම විශාල ජයග්‍රහණයක්.

කණිෂ්ක අම්මට දැක්වූ ආදරය * මගේ දේශපාලන ජීවිතයට සාමාන්‍යයෙන් මගේ ස්වාමිපුරුෂයා සම්බන්ධ වුණේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් ආවට පස්සේ පළවෙනි මැතිවරණයේ ඉඳන් හැම මැතිවරණයකදීම දැන් මෙදාපාර මං ජාතික දේශපාලනය කරන්නෑ කිව්වම හොඳම උදාහරණය හැටියට මං මගේ බල මණ්ඩලය කැඳවලා මගේ ක්‍රියාකාරීන්ගෙන් ඇහුවා මම මොකක්ද කරන්න ඕනෙ කියල. සාමාන්‍යයෙන් ආසනෙන් කෙනෙක් පත් කරන්න ඕනෙනේ. එතකොට මුළු ආසනේම කිව්වෙ එහෙනම් අපි කණිෂ්කව දාමු කියල. කණිෂ්කට දේශපාලනය නුහුරු, නුපුරුදු තැනක් නෙවෙයි. එයාට දේශපාලනය හොඳට පුරුදුයි. ඒ වගේම තමයි කණිෂ්ක සානුකම්පිත, සංවේදී හදවතක් තියෙන දරුවෙක්. මම දේශපාලනයේදී ආපු අසීරු ගමන පුතා දැක්කා. කාන්තාවක් වූ පමණින්ම ඉදිරියට ඒමේ බාධක තිබුණා මිසක් ඉදිරියට ඒම පහසු වුණේ නැහැ. මම හැමදාම ගෙදරට රටේ ප්‍රශ්න ගේනවා. ගෙනල්ලා ඒවා පවුලෙ උදවිය සමඟ සාකච්ඡා කරනවා. ඉතින් මගේ දරුවන්ව මං ප්‍රශ්නවලට හුරුකරලා තියෙන්නෙ. අපේ දරුවන්ට මේ මහපොළොවෙ පය ගහලා ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරලා දුන්නෙ නැත්නම් කවුද ඒක කරලා දෙන්නේ???? මේ රටේ උගත්, බුද්ධිමත් විශාල පිරිසක් විදේශගත වෙලා තමන්ගේ ජීවිතේ ශක්තිමත් කරගෙන ඒ රටවල්වලට දායකත්වය සපයනවා. මේ ශ්‍රී ලංකාවේ එහෙම අය අනන්ත අප්‍රමාණ ඉන්නවා. මගේ දරුවෝ තුන්දෙනාම විදේශ විශ්වවිද්‍යාලවලින් තමයි උපාධි ගත්තේ.මං හැම තිස්සෙම දරුවන්ට කිව්වෙ මායි තාත්තයි ඔයාලට උගන්නන්න විදේශ රටවලට යැව්වට උපාධිය අරන් නැවත ලංකාවට එන්න ඕනෙ කියලයි. ඉතින් මගේ දරුවෝ තුන්දෙනාම ඉගෙනගෙන ආපහු ලංකාවට ආවා. අපි දෙමව්පියන් හැටියට ඒ අය ලබාගත් උපාධිය එක්ක මේ රටට දායක වෙන්න, රට සංවර්ධනය කරන්න, ඔවුන්ගේ ජීවිත නඟාසිටුවන්න අවශ්‍ය පරිසරය අපි හදලා දෙන්න ඕනෙ. අධ්‍යාපනයෙන් පෝෂණයෙන් අපි ඔවුන්ව පෝෂණය කරනවා වගේම මම කිව්ව පරිසරය හදාදීමත් දෙමවුපියන්ගේ වගකීමක් හැටියටයි මං දකින්නේ. තව කෙනෙක් ගැන සිතීමේ හැකියාවක්, සානුකම්පිත හදවතක් කණිෂ්කට තියෙනවා.

•මහත්මා දේශපාලනය නොමැති පසුබිමක කණිෂ්ක දේශපාලනයට පැමිණීම    * ඒ අවදානම මමත් ගත්තා. මමත් දේශපාලනයට හුරු පුද්ගලයෙක් නෙවෙයි. අදටත් මං හැම තිස්සෙම මහත්මා දේශපාලනය කරන තැනක ඉන්නේ.මට කොච්චර ගැහුවත්, ගැරහුවත්, මගේ චරිතෙ ඝාතනය කළත්, බොරු මඩ ප්‍රචාර පළ කළත් ඒවාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ වෛරවදී දේශපාලනයක් මා තුළ නැහැ. මං නිතරම හිතන්නේ සම්මුතිවාදී දේශපාලනය තුළින් තමයි මේ රට ගොඩනැඟිය යුත්තේ. 21 වෙනි සියවසේ මේ වෙනකොට අපිට අලුත් දේශපාලන සංස්කෘතියක්, විශේෂයෙන්ම සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් තුළින් වෛරවාදී, බෙදුම්වාදී දේශපාලනය පැත්තකට දාලා මහත්මා දේශපාලනයකට යෑමට අවශ්‍ය පසුබිම සලසා ගත යුතුයි.     21 වෙනි සියවසේ අනාගත පරපුරට යමක් ලබාදෙන්න අපි මැදිහත් වුණේ නැත්නම් කවුද මැදිහත් වෙන්නේ????  එහෙම හිතලා තමයි මගේ දරුවන්ට මේ මහපොළොවෙ පය ගහලා ජීවත් වෙලා, මේ රට සංවර්ධනය කිරීමට, මේ රට ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් බලගතු රටක් බවට පත් කරන්න ඕන පරිසරය නිර්මාණය කරන්න තමයි මම ඉදිරිපත් වුණේ. මේ රට ගොඩනඟන්න න්ම් අපි අනිවාර්‍යෙන්ම මානව ප්‍රාග්ධනයට විශාල ලෙස ආයෝජනය කළ යුතුයි. උගත්, බුද්ධිමත් දරුවෙක් විදියට කණිෂ්ක හැමදාම කියන දෙයක් තමයි මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනසක් කළ යුතුයි කියන එක. ඒ වෙනස අපිට කරන්න නම්, වෙනස ගැන පැහැදිලි දැක්මක් ඇති, අපි කොයි තැනටද යා යුත්තේ කියන තැනට හැඟීමක් තියෙන පුද්ගලයෙක් ඉදිරිපත් විය යුතුයි. අපි සංවර්ධනය කියලා කොන්ක්‍රීට් වනාන්තර බිහිකරන අතරෙම අධ්‍යාපනයට මූලිකත්වය දීලා එතනින්ම සංවර්ධනය ආරම්භ කළොත් අපි මේ ඉන්න වලෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඒ වගේම මේ ණය බරෙන් අපිට නිදහස් වෙන්න හැකි වන්නේ එවිටයි.  

•ඔබ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනවා. ඔබේ පුතා සමඟි ජන බලවේගය නියෝජනය කරනවා       * මගේ පුතත් එක්සත් ජාතික පක්ෂයේ. මමත් එක්සත් ජාතික පක්ෂයේ. සමඟි ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි.  මොකද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරලා හදපු පක්ෂයක් තමයි සමඟි ජන බලවේගය කියන්නෙ. ඒකට නායකත්වය, අගමැති අපේක්ෂකත්වය පත් කළෙත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්මයි. අන්තිම මොහොතේ මේ ලාංඡන ප්‍රශ්නයක් මුල් කර ගනිමින් තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ. මගේ පුතා ඉදිරිපත් වන සමඟි ජන බලවේගයේ ඉන්න බහුතරය මාත් එක්ක විපක්ෂයේ අවුරුදු 20ක් එකට කට්ට කෑව සහෝදරයො. මම විශ්වාස කරනවා මේ මැතිවරණයෙන් පස්සෙ අපි නැවත එකතු වෙයි කියල. පක්ෂය මෙවැනි තත්ත්වයකට පත්වීම ගැන මම ඇත්තටම කණගාටු වෙනවා.     සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියාගෙන් තමයි මම දේශපාලනයේ අයන්න ආයන්න ඉගෙන ගත්තෙ. මම දේශපාලනයට එන්න ප්‍රධාන හේතුවක් තමයි හේමා ප්‍රේමදාස ආර්‍යාව හා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කියලා මං මේ අවස්ථාවේ කියන්න ඕනෙ. මගේ පුතාගෙ කුළුදුල් ඡන්දයට උදවු කිරීමට නොහැකි තරම් මේ අවස්ථාවේදී ඇත්තටම මං අසරණයි . වසර තිස් ගණනාවක් පුරාවට මම මේ රටේ අස්සක් මුල්ලක් නෑරම හැන ආසනයකටම් ගිහිල්ලා එක්සත් ජාතික පාක්ෂිකයන්ව ජයග්‍රහණය කරවන්න කටයුතු කරලා තියෙනවා. මගේ වියදමින්, කකුල් කැඩෙනකන්, ගෙයින් ගෙට ගිහින්, වේදිකා උඩට නැගලා ඒ අයව ජයග්‍රහණය කරවන්න කටයුතු කළාට මගේ පුතාගෙ කුළුදුල් ඡන්දෙදි එහෙම කරන්න බැරි වීම ගැන මම අතීශය කණගාටු වෙනවා.     නමුත් මාත් එක්ක තිරය පිටුපස ඉඳන් කටයුතු කරපු නිසා මගේ පුතාට දේශපාලන අත්දැකීම් බොහෝමයක් තිබෙනවා. එයා ස්ව ශක්තියෙන් නැඟී සිටීම ගැන මට සතුටු වෙන්න පුළුවන්. දුෂ්කරතා මැද්දෙ නැගිටිනකොට තමයි අපිට අපි කරන දේ ගැන වටිනාකමක්, අගයක් දැනෙන්නේ. මේ අවස්ථාවේ අපි එකතුවෙලා වැඩ කළා නම් රජයට විශාල පහරක් ගහන්න තිබුණා. මගේ කණගාටුව හා කලකිරීම පුතාගේ දේශපාලන ගමනට බාධාවක් වෙන්නෑ කියල මට විශ්වාසයි. මගේ පුතා සංවේදී, අධිෂ්ඨානශීලී, ශක්තිමත්ව නැගිටින්න පුළුවන් පෞරුෂත්වක් තියෙන පුද්ගලයෙක්.  

•බලය හා මුදල් නිසා කණිෂ්කගේ දේශපාලන ගමන වෙනස් විය හැකිද????      * අපේ පවුල් පසුබිම හැටියට අපිට හම්බකරන්න අවශ්‍ය නෑ. අවශ්‍ය කරන දේ තියෙනවා. මගේ ජීවිත කාලය තුළ මම සමාජයට දිය යුතු යම්කිසි දෙයක් තිබිය යුතුයි. මං අදහන ආගමට අනුව මගේ දරුවන්ට මං හැමදාම කියන දෙයක් තමයි අපි කරන දේ තමයි අපි නෙළාගන්නේ. ඒ නිසා වැරදි කරන්න එපා. මනුස්සයෙක්ට උදවුවක් කළොත් කවදහරි තමන්ගේ හතරවෙනි පරම්පරාවට යනකල්ම ඒකෙ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කියන එක. අපි සිටිය යුත්තේ අපිට තිබෙන දේ අනික් අය සමඟ බෙදා හදාගන්නා මානසිකත්වයක මිස අනුන්ගේ දේවල් කඩා වඩාගන්නා මානසිකත්වයක නෙවෙයි    ….

(Visited 5 times, 1 visits today)

Related posts

Leave a Comment