මාර්ග බාධකයකදී මුදල් කොල්ල කෑ මාරවිල පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට.!

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී පුද්ගලයෙකුගෙන් රුපියල් 92,000 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මාර්ග බාධකයේ සේවය කළ උප පෙලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත්බව මාරවිල පොලිසිය කියයි.

මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මාරවිල පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකු මහවැව පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිට ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ඒ අතර සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු යතුරු පැදියකින් මීගමුවේ සිට හලාවත දෙසට ගමන් කරමින් සිටින විට මහවැව පොලිස් මාර්ග බාධකයේ ගැටී එහි තිබූ විදුලි පහනකට හානි සිදුවී ඇති අතර පසුව එම පුද්ගලයා එම විදුලි පහන ගෙනවිත් සවි කර දී ඇති බව පොලිසිය කීය.

එම අවස්ථාවේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයා යතුරු පැදිකරුගෙන් මුදල් ඉල්ලා ඇති අතර නමුත් තමන් අත මුදල් නොමැති බව ඔහු පවසා ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ තමන් සතුව තිබූ වෙනත් අයෙකුට අයත් රුපියල් 92,000 ක මුදලක් අස්ථාන ගතවී ඇති බැවින් එම මුදල ආපසු ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ඊට ප්‍රතිචාරයක් ලෙස උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම පුද්ගලයාට බැන වැදී පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ පුද්ගලයා පොලිසියට පැමිණිල්ලක් කිරීමට සුදානම් වන බවට දැන ගෙන ඇති මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මේ බව මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැණුම් දීමට කටයුතු කර ඇත.

තමන් එපා කියද්දී රුපියල් 2000 ක මුදලක් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ලබා දුන් බව පවසා එම මුදල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත බාර දීමටද අදාල පොලිස් කොස්තාපල්වරයා කටයුතු කර ඇත.

මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් මේ බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැණුම් දීමට කටයුතු කර ඇත.ඒ අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය

ලංකාදීප’
එච්.චන්දන

(Visited 2 times, 1 visits today)

Related posts

Leave a Comment